Wednesday, December 19, 2012

වැටෙන් එහා

වැටෙන් එහා මල් පඳුරේ
නුඹ පිපී වැනේ අත නුදුරේ
මිලින වුණත් ගණ අඳුරේ
මල් නෙලන්න නම් තහනම්

සුවඳ ඇදේ මුළු ලොවට හොරෙන් 
නොවසා ඇති දොර කවුළු තුළින්
සුවඳ දිදී පිපුණත් මිදුලේ 
මල් නෙලන්න නම් තහනම්

තෙමුණත් දෙකොපුල් උණු කඳුලින්
ඇසුණත් කෙඳිරිය මුදු මුවගින්
පිපුණු නිසා අන් සතු උයනේ
මල් නෙලන්න නම් තහනම්

ගායනය: දයාන් විතාරණ

ශ්‍රී ලංකාව වැනි ආසියානු රටවල ලිංගික නිදහස නම් පදය තහනම් වචනයකට කිට්ටු එකකි. එය ගැන සමහරු කතා නොකරති. කථා කරන්නන් ඒ කරනුයේ අවර ගණයේ අපට නොගැලපෙන නිදහසක් ගැන හෝ මුදල් පිළිබඳ හුදු ගිජු කමින් හෝ පමණි. එබඳු පරිසරයක ගීතය සඳහා ද මෙම නියමය එලෙසින් ම වලංගු වේ. ඉතාම කලාතුරෙකින් කථා කෙරෙන මෙබඳු මාතෘකාවක් ගැන ලියැවුණු විරල ගණයේ ගීතයකි මෙය.

සුවඳ දෙන මලක් නෙළා ගන්නා ලෙස ඇරැයුම් කරයි. මෙහි දී අප දන්නා සංස්කෘතිය හා මිනිස් හැගීම් අතර ගැටීමක් ඇති වේ. මෙම ගැටුම සියුම් ලෙස නිරූපණයට ගීත රචකයා සමත්ව ඇත. සුවඳ දැනුනත්, දොර නොවසා තිබුණත්, උණු කඳුලෙන් දෙකොපුල් තෙමුණත් මල අන් සතු නිසා නෙළා ගත නොහැක. රුවැති මල ඇත්තේ අත නුදුරේමය. එය නෙළා ගැනීමද ඉතා පහසු කාර්යයකි. එලෙස නෙළා නොගන්නා මල්, (ආදරයේ හෝ රාගයේ) හිරු එළිය නොදැක ජීවන ගණ අඳුරේ මිලින වී යයි. දයාන් විතාරණ වැනි නවක ගායකයකු මෙබඳු ගීතයක් ගායනයට නිර්භය වීම ගැන ඔහුට අප උපහාරය පිදිය යුතුය. මෙම ගීතය ගයා වසර 10 කට කිට්ටු කාලයක් ගත වුවත් මෙබඳු ගීතයක් ඇති බව වත් හෝ අප ප්‍රබුද්ධ විචාරකයන් අතින් නො කියවෙන්නේ ඔවුන් මෙම මාතෘකාව ගැන දක්වන බිය නිසා දැයි සිතා ගත නොහැක.

Wednesday, November 28, 2012

නීල අහසේ සැඳෑ වලා


නීල අහසේ සැඳෑ වලා
ඇදෙනා යාමේ සිහිලේ ළංවී
ගංගා තීරේ ඉඳිමූ තනිවී
ආදර සෙනෙහේ සුවේ මවා
සීත සෙවනේ මුවා වෙලා

ආදර දෑසේ සිනා සලා
බැඳිලා වෙළිලා මාගේ දෑතේ
කොඳුරා රහසින් කියනා වදනින්
මා සිත සැනහී නිවේ නිවේ

මා වෙත යාවී සෙනේ පුදා
ඉඳිනූ සැමදා මාගේ ලෝකේ
ළඳුනේ ඔබගේ සුවඳේ රැඳිලා
මා සිත සැනහී නිවේ නිවේ


ස්වර රටා සහ ගායනය: කීර්ති පැස්කුවෙල්

විටෙක එය දෙගොඩතලා ගලා යයි. විටෙක එය පැද්දෙමින් ලතාවට ගමන් ගනී. විටෙක සිහින්ව පැහැදිලි දියෙන් යුක්ත වෙයි. අති දුෂ්කර වූ කළුතර දිස්ත්‍රික්කයේ මැදි පෙදෙසෙහි හමු වූ දෙවනුවට මා සිත් දිනා ගත් දේ කළු ගඟයි. කළු ගඟ අඟුරුවාතොටදී කුඩා කඳු ගැට දෙකක් අතරින් ගලා යද්දී ඒ මතින් අඩ කවාකාර පාලමක් තැනෙයි. මේ පාලම මත සිට සොඳුරු සවස් යාමයන්දී, මට හමුවූ ඉතාමත්ම සිත්ගත් ඇය සමග තනි වී සිටියෙමි. නීල අහසේ සැඳා වලා බටහිර දෙසට ඇදී යයි. ඒ අතරින් බැස යන හිරුගේ මන්දාලෝකය තවමත් දිසෙයි. සමණල අඩවියෙන් පටන්ගෙන කළුතර බෝ සමිඳු වඳිනු වස් ඇදී යන කළු ගඟෙහි සැඩ දිය දහර අපට පහළින් පෙනෙයි. පාලම් ඇන්දට වාරු දී මම ඇය දෙස බලා සිටියෙමි. දින පතා නිදි මරා ගෙන යෙදෙන සේවයෙන් ඉඩ ලද විගස මේ මනෝහර දසුනෙහි මඳක් ඈ සමග තනිවන්නට මගේ සිත ඉමහත් සේ ප්‍රිය කරයි. නිදි මැරීමෙන් සහ රිය පැදවීමෙන් ඔද්දල් වූ සිත ඇගේ සින්හවකින්, කොඳුරා කියන වදනකින් නිවී සැනසී යයි. ඇගේ සුවඳ දැනෙන විට නොසන්සුන් සිත සන්සුන් වේ. ඈ තවමත් මා වෙත යාවී ඇත. ඇය මගේ ලෝකයේ සැමදා සිටිනු ඇත. කීර්ති පැස්කුවෙල් ගේ මේ ගීතය ඇසෙන සැම වාරයක්ම පාසා ඒ සුන්දර සිහිනය නැවත නැවත සිහියට නැගෙයි. මේ ගීතය ඒ තරම්ම ප්‍රේමණීය එකකි.


අහන්න

Friday, August 17, 2012

හමුවුණා අප වෙන්වුණා

හමුවුණා අප වෙන්වුණා යළි හමුවුණා
ආදරේ නාමයෙන්
හිනැහුණා නෙතු බොඳවුණා යළි පිබිදුණා
හදවතේ සුමිහිරි හැඟුම්
දෛවයේ සරදමින් දිවි මගේ තනිවෙලා
පෙරදා එන සුසුම් වි‍යැකුණා
හමුවුණා අප වෙන්වුණා යළි හමුවුණා
ආදරේ නාමයෙන්

ජීවිතේ මල් මාවතේ
එකව ගයමු අපි ප්‍රේමයේ ගීතිකා
සෙනෙහසේ පැතුමන් පිරූ
පිවිතුරු දෙ හදේ අමරණීය වේ
ආදරේ . . .

අප ලොවේ වසන්තයේ
පිබිදුණු සෙනෙහස කිසිදා නොමියේවා
ආදරේ සොමනස සොයා
පිය නගනා මග ආසිරි ගී
වැයුනාවදෙන් . . .


පද, හඬ හා ගායනය: ෂර්ලි වෛජයන්ත


ෂර්ලි වනාහි අපූරු කලා කරුවෙකි. හෙතෙම ගීත තමන් විසින් ම රචනා කර ගත්තෙකි. ඒවාට පද'රුත් සපයා සංගීතය මුසු කලේත් ඔහුම ය. අවසන ඒවා ගැයුවේද ඔහුම ය. ෂර්ලිට තිබුනේ තාරුණ්‍යය වශී කරන කට හඬකි. අතිශය හැඟීම් බර, එනමුත් සංවර කට හඬකි.  එනිසාම 80 දශකය මැද භාගය වන විට ෂර්ලි ඉතා ජනප්‍රිය ගායකයකු බවට පත්ව සිටියේය. 

නමුත් ෂර්ලි මා දකින්නේ වෙනත්ම කෝණයකිනි. කී බෝඩ්, ඉලෙක්ට්‍රික් ගිටාර් සහ ඩ්‍රම් සෙට් ශාස්ත්‍රීය ගීතය වෙතට ගෙන ආවේ ෂර්ලි බව මගේ හැඟීමයි. ෂර්ලි අත්‍යවශ්‍යයෙන්ම උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් ආභාෂය ලැබූ ගායකයෙකි. නමුත් රැල්ලට එරෙහිව යමින් 70 දශකයේ අග භාගයේ ඔහු කරළියට පැමිණියේ මේ නව හඬ විප්ලවය සමගමය. "මට එපා ඔබේ හසරැල්" ලෙස මුලින්ම කරළියට ආ ඒ ගීතය පවා පටන් ගන්නේ විද්‍යුත් ගිටාර ඉන්ට්‍රෝ (intro) එකකිනි. 80 දශකය මුල් භාගය වන විට ෂර්ලි දහසක් දුෂ්කරතා මැද සිය පළමු කැසට් පටය එළි දක්වයි. මෑතක් වනතුරුම මා අත තිබූ ඒ කවරය (රතු හා කළු මිශ්‍ර වර්ණයෙන් මුද්‍රිත) දැන් නම් විනාශ වී ගොසිනි. නමුත් සිතාර, බට නළා, සහ තබ්ලාවට හුරුවූ ශාස්ත්‍රීය ගී රසිකයා ඉන් නව මානයකට කැඳවාගෙන ගියේ ෂර්ලි බව මගේ හැඟීමයි. 

ෂර්ලි ඉමහත් දුෂ්කරතා මැද කරන ලද කැසට් පටයක් ගැන මම කලින් සඳහන් කළෙමි. ඒ කැසට් පටයේ අඩංගු වූයේ පුදුම එළවන සුළු මිහිරි ගීත සමූහයකි. "මට එපා ඔබේ හසරැල් බිඳක්", "ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ", "ඈත ක්ෂිතිජයේ හැඩට රුවින්" යන ගීත  එකල තරුණ සිත් පැහර ගත්තේ නිරායාසයෙන්ම ය. නමුත් මා ඔබ වෙත මේ ගෙන එන ගීතය, එම ගීත සමුච්චයේ අඩංගු වැඩිපුර කතා බහට ලක් නොවන ගීතයකි. මෙහි පද මාලාව සරල ය. හමු වීම, වෙන්වීම, හිනැහීම අතර ඇඳෙන අමරණීය යයි සිතෙන් බොලඳ ආදරයක් ගැන මේ ගීතයෙන් කියැවේ. ආදරේ අනුහසින් හමුවී වෙන්වූවත්, ඔවුහු නැවත හමුවන්නාහ. ජීවිතේ මල්මාවතේ පිය නගමින් ප්‍රේම ගීතිකා ගයමින්, වසන්තයෙන් ඇරඹි මේ ගමන නිම වන්නේ ආසිරි ගී මැද අතිනත ගැනීමෙනි. නමුත් මේ ගීතය අතිශය වැදගත් එකක් වන්නේ මෙහි ඇති සුවිශේෂී ආකෘතිය නිසාමය. 

මුලින් ම මෙය සිවු පදය ගීතයට නොනගන ලද ගීයකි. එහි මුලින් ම (chorus) කියන කොටස හා අන්තරා මාත්‍රා ගණන අනුව වෙනස් බව පැහදිලි වනු ඇත. එමෙන් ම අන්තරා කොටස් ගැයෙන්නේත් අසමමිතික පද පේළි අන්දමිනි. එනිසා පද රචනය අතින් මෙහි වෙනසක් දකින්නට ඇත. නමුත් ෂර්ලි මෙහි දී රැඩිකල් වන්නේ සංගීතයෙනි. විද්‍යුත් ගිටාර, ඕගන, ඩ්‍රම් සෙට් වලින්ම පමණක් මේ ගීතය ඇසේ. එසේම ගිටාර් ඩිස්ටෝර්ෂන් (guitar distortion) යන ශබ්ද ප්‍රයෝගයද මෙහිදී මනාව අසන්නට ලැබේ. මේ ප්‍රයෝග අද නම් ඉතාමත් සුලබ හා නොවැදගත් ඒවා ලෙස පෙනී ගිය හැකි නමුත්, මා මේ සඳන් කරන්නේ 1982, එනම් මීට වසර 30කට පෙර, ගිටාර් ඩිස්ටෝර්ෂන් ශාස්ත්‍රීය සංගීතය තුල යෙදීම ගැනයි! 

එකල සිටි කැලිප්සො සංගීත කණ්ඩායම් තුලින් අප මේ භාණ්ඩ වැයෙනු අසා තිබූ මුත්, ඒවායේ නියම ශාස්ත්‍රීය භාවිතය අපට පෙන්වා දුන්නේ ෂර්ලිය. සමහර විට කේමදාස මාස්ටර් මීට කලින් මේ භාණ්ඩ යොදා ගත් නමුත්, සම්පූර්ණයෙන් බටහිරකරය වූ මෙවන් ගීත කේමදාස මාස්ටර් අතින් නිමැවුනේ නැත. ෂර්ලි ගේ සමකාලීන කීර්ති පැස්කුවල් වැනි ශිල්පීන් ද මේ භණ්ඩ යොදා ගත් මුත් ඔවුන්ට ෂර්ලි මෙන් රාගධාරී සංගීතයේ පරිචයක් තිබූයේ නැත. එනිසා ෂර්ලි වෛජයන්තයන් 80 භාගයේ මුලදී කල සොඳුරු, එනමුත් නිහඬ විප්ලවය, දශක තුනකට හෝ පසුව අප යම්තමින් හෝ අගය කළ යුතු වෙමු.

Thursday, March 22, 2012

සරා සඳේ සිනා සේලේ

සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා

වැතිරී සීත මීදුම් පායේ හදේ වේදනා
හඬා වැටී එදා ඇසූ ඔබේ ගීතිකා

සැඟවී ආත මීදුම යායේ කොහේ පාවෙලා
මිලාන වී ගියාද ඒ සිනා වාසනා


සිනමා පයට: මිහිදුම් සිහින
සංගීතය: සරත් දසනායක
ගැයුම: එච්. ආර්. ජෝතිපාල
රංගනය: විජය කුමාරණතුංග, බන්දු ජයසිංහ, මාලිනී ෆොන්සේකා



ජෝතිපාලයන් ගැන කිහිප වරෙක අපි කතා කොට ඇත්තෙමු. ඔහුගේ හඬ පෞරුෂය, ස්වර පරාසය සහ ගැඹුරු හඬ අපට හුරු පුරුදු ඒවාය. එනමුත් ජෝතිපාලයන්ගේ කූටප්‍රාප්තිය යම් ගීතයක් සමග වේද ඒ මේ ගීතය බව නොවළහා පැවසිය හැකිය. ජෝතිපාල ගැයූ අනුකාරක තනු වලින් මිදී, ස්වතන්ත්‍ර තනුවකට ගී ගයද්දී ඔහුගේ ප්‍රතිභාව ගැන හොඳ අදහසක් මේ ගීතය ලබා දේ. මේ ගැන වැඩි අටුවා ටීකා අවශ්‍ය නැත. අසා බලන්න.

Sunday, December 18, 2011

සරුංගලේ

සරුංගලේ වරල් සැලේ
නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ

සරුංගලේ බට පතුරෙන් නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ ලාටු උලා රැලි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලව හැඩ කෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි

සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයි
සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගේ රට හැර යන අපේ ළමයි


ගී පද: මහැදුරු සුනිල් ආරියරත්න
ගී නද: විශාරද නන්දා මාලිනී


මේ ගීය 80 දශකයේ බිහිවූ සුභාවිත වූ ගීතයකි. සරුංගලයක ඉපදීම, පාලනය සහ එය උඩ හැරීමත්, ඒ හා සම්බන්ධ සමාජයීය තත්ත්වයනුත් මේ ගීතය තුලින් මනාව කියා පායි. එනමුත් මහැදුරු ආරියරත්නයන්, සරුංගලයෙන් එහා දෙයක් දක්නා බව නම් පැහැදිලිය. ඒ අනුව මේ ගී පද බහු අරුත් දන්වන ආකාරයේ එකක් වේ. මේ ගීතය ගැනම විවරණයක් සපයන අසරණයා කියා සිටිනුයේ රට හැර යන ළමයින් ගැන මූර්තිමත් කෙරෙන පද වැලක් හැටියට හඳුන්වා දිය හැකි බවයි. ඇත්තෙන්ම පවුල හැර යන ළමයෙකුට සරුංගලය සම කළ හැකි වුවත්, මහැදුරු ආරියරත්නයන් මෙයට එහා ගිය පරමාදර්ශී මාතෘකාවක් දකින බැව් මට සිත්වේ. එසේ වුවත් මේ ගීය පිළිබඳ රස විනිසක් කිරීමට මා පෙළඹවීම ගැන එම බ්ලොග්කරුට මම ස්තූතිවන්ත වෙමි.

බුද්ධි ගලනය දකුණු ආසියාවටම පොදු සාධකයකි. විවිධ හේතු නිසා තම රට අතහැර දියුණු යයි සම්මත රටවල් වල ආකර්ෂණීය වැටුප් සොයාගෙන විද්‍යාර්ථීහු තම මව් රටෙන් පිටවෙති. එලෙසේ පිටවන විද්‍යාර්තීන් යනු මෙරට සාමාන්‍ය ජනයාගේ බදු මුදලින් උගැනුම ලබා සමාජ තලයේ ඉහළට නැග ගන්නා අයයි. මහැදුරු ආරියරත්නයන් සරුංගලය තුලින් රට හැර යන විද්‍යාර්ථියෙක් පෙන්වා සිටින බව මගේ හැඟීමයි.

මේ විද්‍යාර්ථියා බිහි වන්නේ බිම් මට්ටමේය. එනම් බිම් මට්ටමේ සිටින දුප්පත් දෙමාපියන් තුලිනි. සරුංගලය බටපතුරෙන් කපා, ලාටු උලා, රැළි අලවා හැඩ කරන්නේ "අපේ" ළමයින්ය. "අපේ" යන පදය මෙහිදී යෙදෙන්නේ රටේ පීඩිත පන්තිය නිරූපණයටයි. ඔහුට උගන්වන්නේ, ඔහුගේ නැණැස පාදන්නේත් සාමාන්‍ය ජනයාගේ මුදලින් නඩත්තු වන ගුරුවරුන්ය. ඔහු බිම් මට්ටමෙන් ඉහළට උඩ අරින්නට නූල් දුන්නේත් "අපේ" ළමයින්මය. විද්‍යාර්ථියාට ඉගෙන ගැනීමට සුදුසු පරිසරය සකසා දීමට කල අරගල වලදී ගුටි කෑවේ, සිත් වේදනාවට පත් වූයේ සහ මිය ගියේත් "අපේ" ළමයින්මය. එනමුත් සරුංගලය මෙන්ම සමාජ පිරමීඩයේ ඉහළට නැගගෙන වරල් සලමින් නිසංසලව සිටින විද්‍යාර්ථියාට රට හැර යන විට තමා උපන් බිමත්, උපන් සමාජ පන්තියත් අමතක වී යයි.

බුද්ධි ගලනය වැනි මාතෘකා ගැන ගීයක් තබා සංවාදයක් පවා ඇති නොවන සමයෙක දුර දක්නා නුවණින් මහැදුරු ආරියරත්නයන් විසින් ලියන ලද "සරුංගලේ" ගීතය, ඉහත මාතෘකාව පිළිබඳ සංවේදී කතිකාවතල අවශ්‍යතාවයට අප යොමුකරවයි.

Friday, December 9, 2011

අතු අගැ දිලි වන මල්


අතු අගැ දිලි වන මල්
පිපෙන්නා විඳැ විඳැ
සඳ සිහිලැල්
මසිත් ඔබ හද සිහිලැල්
ලබාලා පරයයි ඒ හැම මල්

දෝතලු තුරු එල් වැල්
එලෙන්නා කොහි එගසින් අත් වැල්
මට ඇති ඔබ අත්වැල්
වෙලෙන්නෙම් මම ඔබැ හා හැම කල්

සිඹැ සිඹැ මී අඹ මල්
උරා රොන් ගුම් නද දෙති බිඟු දැල්
මගෙ පෙම් ගී රසු දැල්
එළන්නේ ඔබ වෙනුයෙන් කැරැ ලොල්


ගායනය හ සංගීතය: ආචාර්ය අමරදේව
පද බැඳුම: මුනිදාස කුමාරතුංග


කුමරතුඟු මුනිදස් සිහල කලා කෙතට පහළ වූ මහ පඬි රුවනකි. අදිරද වාදී අදහස් ඔළුවේ දමාගෙන සිටි බඩ ගැත්තන්ට සිනා වූ එතුමා සකු බසින් තොර වූ එළු බස සොයන්නට මහත් වෙහෙසක් ගත්තෝය. බස් කිහිපයක් වහරන්නට හැකියාවෙක් තිබූ කුමරතුඟුවෝ විප්ලවීය මාවතෙක යමින් සිය සාහිත නිමැවුම් ඉදිරිපත් කළෝය. එනමුදු කුමරතුඟුවන්ගේ ගී රචනා ගී ලෙස ඇසෙන්නේ කලාතුරකිනි. එපමණකුදු නොව, ඔහු විසින් කල් පෙම් ගීයෙක් වේද එය "අතු අග පිපි වන මලට" පමණක්ම සීමා වූයේද වෙයි. එනිසාම, අතු අග පිපි වන මලෙක් වූ මේ ගීය සිහල ගී කෙතෙහි සුවිසල් පිය සටහනෙක් වන්නේය.

කුමරතුඟුවන් මේ ගීය පුරාම යොදන්නේ සුපිරිසිදු එළු බසමැ පමණෙකි. සිහිගිරි කුරුටු ගීයෙහි "නිල් කට් රොල් මල්ක" ආදී වූ පැදියෙහි හැඩ තල ගනිමින් හල් අකුරු විසල් ගණනෙක් සහිතව ගීය ලියැවී ඇත්තේය. අතු අග පිපුණ වන මල් සඳ එළියේ සිහිල ලබමින් පිබිදෙයි. එනමුත් ඔබ දුටු කල්හි මා සිත ඒ මල් පවා පරයමින් විකසිත වන්නෙමය. දෝතලු වැල්, එළ වැල්, තුරු ලිය මත වැවී ඇතත් ඒ කිසිවෙක් අත්වැලක් ලෙස ගත නොහීය. එනමුත් ඔබ මට අත්වැලක් නිසාම් ඔබ හා මා (පෙමින්) වෙලෙන්නෙමි. මී අඹ මල්හි මධු උරන මියැසි කැල ගුම් නද නංවන්නෝය. එනමුත් ඔබ කෙරෙහි ලොල්ව මා සිත නැගෙන පෙම් ගී වැල් වලින් එලෙසින්ම රසු දැල් (සිලි සිලි හඬ නැගෙන වාද්‍ය භාණ්ඩයක්) නැගෙන්නේය.

ගී ලියන්නට සකු බසෙහි රළු පද අනැවැසි බව මොනවට පෙන්වන ගීයකි අතු අග දිලි වන මල. කුමරතුඟුවන්ට පසුව ආ අරිසෙන් අහුබුදුවන් වැනි පද රචකයෝ හෙළ හවුල තව දුරටත් ගෙන ගිය අතර ඔවුනතින් ගී රැසක් ලියැවිණි.

ගීයෙහි සංගීතයද '70 දශකයේ ගීයක යයි සිතිය නොහැකි තරමටම නවීනය. යුගයට වඩා නවීන තනුව හා සංගීත සංයෝජනය නිසාම මේ ගීතය අපූර්ව ගීතයක්ද වෙයි.


බාගෙන අහන්න

Thursday, July 21, 2011

ඔබ ආයෙමත් ඇවිදින්

ඔබ ආයෙමත් ඇවිදින්
සිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ
සිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

දෑස අග මල් පිපී සැලුණත් කොයිතරම්
එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

ගායනය: අමරසිරි පීරිස්

අප හමුවූයේ අහම්බෙනි. මා එකල වෙසෙසක් නැති සාමාන්‍ය තරුණයෙක්මි. ඔබ සුකුමාර සැප වීන්දින සුර කුමරියකි. ඔබේත් මගේත් පරතරය අහසට පොළොව මෙන් විය. ඔබ දෑසට වශී වී ඔබ අත ගැන්මට කල පැතූ පැතුම් වල බර මහ මෙරක් වැන්න. මා රැය නොනිඳා පහන් කලේ ඔබ වෙනුවෙනි. වහලේ රීප ගැන්නේ ඔබ වෙනුවෙනි. කුසගින්නේ සිටියේ ඔබ ලබා ගැනීමටය. නමුත් ඒ සියල්ලම වැරදී ගිය අතර ඔබ මා හැරදා දුරු රටකට යන්නට ගියේය. ඔබ නැතිව පාළු වූ ලොවෙහි වාසය කිරීමට මම ටිකින් ටික පුරුදු වූයෙමි. ඔබ මා ජීවිතයේ දුටු මල් අතර පියකරුම මල විය. ඉන් පසු මා දකින ලද මල් සියල්ල ඔබ හමුවේ නොවැදගත් ඒවා විය. එවන් ඔබ නොදැකගත වූ දිගු කලේ දී මගේ සිත හදා ගත්තෙමි. ඒ නොවිඳිනා දුක් විඳීමෙනි. ඔබ වෙනුවෙන් හෙළු කඳුලැලි මා නවතා ගත්ත මහත් වැරිනි. ඒ කඳුළු වියළී ගොස් වැඩි කලක් ද නැත. අහෝ! ඔබ නැවතත් පැමිණ ඇත. මා විසින් මහත් වෙරින් ගොඩ නගන ලද පවුරු පදනම් ඔබ සිඳ බිඳ දමා ඇත. දැන් නැවතත් ඔබ පතනු හැර කුමක් කරන්නද?

අමරසිරි පීරිස් විසින් මෑත කාලයේ ගැයූ මධුර ගීයකි මෙය. ගීතය ඉතාම සරල එකකි. නමුත් එය ඉතාම ලයාන්විත සරල ගීතයකි. පද පෙළ ඉතාම් සරලය. නමුත් ඒවා හදවතට කතා කරයි. සරල ගීයක් වුවද මෙහිදීද භාව ප්‍රකාශන නැත්තේම නොවේ. "ඔබ ආයෙමත් ඇවිදින්" ලෙස මුල්ම පදය ගයා ඉන්පසුව මඳ වේලාවකින් ඉතිරි පදය ගැයේ. ඒ කාලයක් ගතවූ බව දැක්වීමට හා එම දැකීමෙන් ඇති වූ හැඟීම් සමුදාය කැටි කර ගන්නා වේලාව දැක්වීමටය. සේම ඔබ ආයෙමත් ඇවිදින් යන පදය නිතර නිතර ගැයීමෙන් පෙන්වන්නේ මෙය එක් වරකට වඩා සිදු වූ බවක්වත්ද?

පසු ගිය ගීය එළ කිරියේ උපරිගත කිරීම ගැන මා හට කිහිප දෙනෙක්ම චෝදනා එල්ල කළහ. ඔවුන්ගේ ඉල්ලීම් වලට අවනත වීමක් ලෙස මෙවර මීඩියාෆයර් අඩවියේ ගීතය උපරිගත කරමි. එසේම මේ ගීයේ පද රචකයා හෝ සංගීතවේදියා ගැන ලේඛකයාට දැනුමක් නොමැත. පද වලට අනුව එය සමන්ත හේරත් ගේ සහ සංගීතය අනුව එය රෝහණ වීරසිංහයන්ගේ වීමට ඉඩ ඇති බව සිතෙන මුත් මේ පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දෙන්නන්ට හද පිරි ස්තූතිය පුද කරමි.