Friday, August 17, 2012

හමුවුණා අප වෙන්වුණා

හමුවුණා අප වෙන්වුණා යළි හමුවුණා
ආදරේ නාමයෙන්
හිනැහුණා නෙතු බොඳවුණා යළි පිබිදුණා
හදවතේ සුමිහිරි හැඟුම්
දෛවයේ සරදමින් දිවි මගේ තනිවෙලා
පෙරදා එන සුසුම් වි‍යැකුණා
හමුවුණා අප වෙන්වුණා යළි හමුවුණා
ආදරේ නාමයෙන්

ජීවිතේ මල් මාවතේ
එකව ගයමු අපි ප්‍රේමයේ ගීතිකා
සෙනෙහසේ පැතුමන් පිරූ
පිවිතුරු දෙ හදේ අමරණීය වේ
ආදරේ . . .

අප ලොවේ වසන්තයේ
පිබිදුණු සෙනෙහස කිසිදා නොමියේවා
ආදරේ සොමනස සොයා
පිය නගනා මග ආසිරි ගී
වැයුනාවදෙන් . . .


පද, හඬ හා ගායනය: ෂර්ලි වෛජයන්ත


ෂර්ලි වනාහි අපූරු කලා කරුවෙකි. හෙතෙම ගීත තමන් විසින් ම රචනා කර ගත්තෙකි. ඒවාට පද'රුත් සපයා සංගීතය මුසු කලේත් ඔහුම ය. අවසන ඒවා ගැයුවේද ඔහුම ය. ෂර්ලිට තිබුනේ තාරුණ්‍යය වශී කරන කට හඬකි. අතිශය හැඟීම් බර, එනමුත් සංවර කට හඬකි.  එනිසාම 80 දශකය මැද භාගය වන විට ෂර්ලි ඉතා ජනප්‍රිය ගායකයකු බවට පත්ව සිටියේය. 

නමුත් ෂර්ලි මා දකින්නේ වෙනත්ම කෝණයකිනි. කී බෝඩ්, ඉලෙක්ට්‍රික් ගිටාර් සහ ඩ්‍රම් සෙට් ශාස්ත්‍රීය ගීතය වෙතට ගෙන ආවේ ෂර්ලි බව මගේ හැඟීමයි. ෂර්ලි අත්‍යවශ්‍යයෙන්ම උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් ආභාෂය ලැබූ ගායකයෙකි. නමුත් රැල්ලට එරෙහිව යමින් 70 දශකයේ අග භාගයේ ඔහු කරළියට පැමිණියේ මේ නව හඬ විප්ලවය සමගමය. "මට එපා ඔබේ හසරැල්" ලෙස මුලින්ම කරළියට ආ ඒ ගීතය පවා පටන් ගන්නේ විද්‍යුත් ගිටාර ඉන්ට්‍රෝ (intro) එකකිනි. 80 දශකය මුල් භාගය වන විට ෂර්ලි දහසක් දුෂ්කරතා මැද සිය පළමු කැසට් පටය එළි දක්වයි. මෑතක් වනතුරුම මා අත තිබූ ඒ කවරය (රතු හා කළු මිශ්‍ර වර්ණයෙන් මුද්‍රිත) දැන් නම් විනාශ වී ගොසිනි. නමුත් සිතාර, බට නළා, සහ තබ්ලාවට හුරුවූ ශාස්ත්‍රීය ගී රසිකයා ඉන් නව මානයකට කැඳවාගෙන ගියේ ෂර්ලි බව මගේ හැඟීමයි. 

ෂර්ලි ඉමහත් දුෂ්කරතා මැද කරන ලද කැසට් පටයක් ගැන මම කලින් සඳහන් කළෙමි. ඒ කැසට් පටයේ අඩංගු වූයේ පුදුම එළවන සුළු මිහිරි ගීත සමූහයකි. "මට එපා ඔබේ හසරැල් බිඳක්", "ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ", "ඈත ක්ෂිතිජයේ හැඩට රුවින්" යන ගීත  එකල තරුණ සිත් පැහර ගත්තේ නිරායාසයෙන්ම ය. නමුත් මා ඔබ වෙත මේ ගෙන එන ගීතය, එම ගීත සමුච්චයේ අඩංගු වැඩිපුර කතා බහට ලක් නොවන ගීතයකි. මෙහි පද මාලාව සරල ය. හමු වීම, වෙන්වීම, හිනැහීම අතර ඇඳෙන අමරණීය යයි සිතෙන් බොලඳ ආදරයක් ගැන මේ ගීතයෙන් කියැවේ. ආදරේ අනුහසින් හමුවී වෙන්වූවත්, ඔවුහු නැවත හමුවන්නාහ. ජීවිතේ මල්මාවතේ පිය නගමින් ප්‍රේම ගීතිකා ගයමින්, වසන්තයෙන් ඇරඹි මේ ගමන නිම වන්නේ ආසිරි ගී මැද අතිනත ගැනීමෙනි. නමුත් මේ ගීතය අතිශය වැදගත් එකක් වන්නේ මෙහි ඇති සුවිශේෂී ආකෘතිය නිසාමය. 

මුලින් ම මෙය සිවු පදය ගීතයට නොනගන ලද ගීයකි. එහි මුලින් ම (chorus) කියන කොටස හා අන්තරා මාත්‍රා ගණන අනුව වෙනස් බව පැහදිලි වනු ඇත. එමෙන් ම අන්තරා කොටස් ගැයෙන්නේත් අසමමිතික පද පේළි අන්දමිනි. එනිසා පද රචනය අතින් මෙහි වෙනසක් දකින්නට ඇත. නමුත් ෂර්ලි මෙහි දී රැඩිකල් වන්නේ සංගීතයෙනි. විද්‍යුත් ගිටාර, ඕගන, ඩ්‍රම් සෙට් වලින්ම පමණක් මේ ගීතය ඇසේ. එසේම ගිටාර් ඩිස්ටෝර්ෂන් (guitar distortion) යන ශබ්ද ප්‍රයෝගයද මෙහිදී මනාව අසන්නට ලැබේ. මේ ප්‍රයෝග අද නම් ඉතාමත් සුලබ හා නොවැදගත් ඒවා ලෙස පෙනී ගිය හැකි නමුත්, මා මේ සඳන් කරන්නේ 1982, එනම් මීට වසර 30කට පෙර, ගිටාර් ඩිස්ටෝර්ෂන් ශාස්ත්‍රීය සංගීතය තුල යෙදීම ගැනයි! 

එකල සිටි කැලිප්සො සංගීත කණ්ඩායම් තුලින් අප මේ භාණ්ඩ වැයෙනු අසා තිබූ මුත්, ඒවායේ නියම ශාස්ත්‍රීය භාවිතය අපට පෙන්වා දුන්නේ ෂර්ලිය. සමහර විට කේමදාස මාස්ටර් මීට කලින් මේ භාණ්ඩ යොදා ගත් නමුත්, සම්පූර්ණයෙන් බටහිරකරය වූ මෙවන් ගීත කේමදාස මාස්ටර් අතින් නිමැවුනේ නැත. ෂර්ලි ගේ සමකාලීන කීර්ති පැස්කුවල් වැනි ශිල්පීන් ද මේ භණ්ඩ යොදා ගත් මුත් ඔවුන්ට ෂර්ලි මෙන් රාගධාරී සංගීතයේ පරිචයක් තිබූයේ නැත. එනිසා ෂර්ලි වෛජයන්තයන් 80 භාගයේ මුලදී කල සොඳුරු, එනමුත් නිහඬ විප්ලවය, දශක තුනකට හෝ පසුව අප යම්තමින් හෝ අගය කළ යුතු වෙමු.

No comments: