Sunday, December 18, 2011

සරුංගලේ

සරුංගලේ වරල් සැලේ
නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ

සරුංගලේ බට පතුරෙන් නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ ලාටු උලා රැලි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලව හැඩ කෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි

සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයි
සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගේ රට හැර යන අපේ ළමයි


ගී පද: මහැදුරු සුනිල් ආරියරත්න
ගී නද: විශාරද නන්දා මාලිනී


මේ ගීය 80 දශකයේ බිහිවූ සුභාවිත වූ ගීතයකි. සරුංගලයක ඉපදීම, පාලනය සහ එය උඩ හැරීමත්, ඒ හා සම්බන්ධ සමාජයීය තත්ත්වයනුත් මේ ගීතය තුලින් මනාව කියා පායි. එනමුත් මහැදුරු ආරියරත්නයන්, සරුංගලයෙන් එහා දෙයක් දක්නා බව නම් පැහැදිලිය. ඒ අනුව මේ ගී පද බහු අරුත් දන්වන ආකාරයේ එකක් වේ. මේ ගීතය ගැනම විවරණයක් සපයන අසරණයා කියා සිටිනුයේ රට හැර යන ළමයින් ගැන මූර්තිමත් කෙරෙන පද වැලක් හැටියට හඳුන්වා දිය හැකි බවයි. ඇත්තෙන්ම පවුල හැර යන ළමයෙකුට සරුංගලය සම කළ හැකි වුවත්, මහැදුරු ආරියරත්නයන් මෙයට එහා ගිය පරමාදර්ශී මාතෘකාවක් දකින බැව් මට සිත්වේ. එසේ වුවත් මේ ගීය පිළිබඳ රස විනිසක් කිරීමට මා පෙළඹවීම ගැන එම බ්ලොග්කරුට මම ස්තූතිවන්ත වෙමි.

බුද්ධි ගලනය දකුණු ආසියාවටම පොදු සාධකයකි. විවිධ හේතු නිසා තම රට අතහැර දියුණු යයි සම්මත රටවල් වල ආකර්ෂණීය වැටුප් සොයාගෙන විද්‍යාර්ථීහු තම මව් රටෙන් පිටවෙති. එලෙසේ පිටවන විද්‍යාර්තීන් යනු මෙරට සාමාන්‍ය ජනයාගේ බදු මුදලින් උගැනුම ලබා සමාජ තලයේ ඉහළට නැග ගන්නා අයයි. මහැදුරු ආරියරත්නයන් සරුංගලය තුලින් රට හැර යන විද්‍යාර්ථියෙක් පෙන්වා සිටින බව මගේ හැඟීමයි.

මේ විද්‍යාර්ථියා බිහි වන්නේ බිම් මට්ටමේය. එනම් බිම් මට්ටමේ සිටින දුප්පත් දෙමාපියන් තුලිනි. සරුංගලය බටපතුරෙන් කපා, ලාටු උලා, රැළි අලවා හැඩ කරන්නේ "අපේ" ළමයින්ය. "අපේ" යන පදය මෙහිදී යෙදෙන්නේ රටේ පීඩිත පන්තිය නිරූපණයටයි. ඔහුට උගන්වන්නේ, ඔහුගේ නැණැස පාදන්නේත් සාමාන්‍ය ජනයාගේ මුදලින් නඩත්තු වන ගුරුවරුන්ය. ඔහු බිම් මට්ටමෙන් ඉහළට උඩ අරින්නට නූල් දුන්නේත් "අපේ" ළමයින්මය. විද්‍යාර්ථියාට ඉගෙන ගැනීමට සුදුසු පරිසරය සකසා දීමට කල අරගල වලදී ගුටි කෑවේ, සිත් වේදනාවට පත් වූයේ සහ මිය ගියේත් "අපේ" ළමයින්මය. එනමුත් සරුංගලය මෙන්ම සමාජ පිරමීඩයේ ඉහළට නැගගෙන වරල් සලමින් නිසංසලව සිටින විද්‍යාර්ථියාට රට හැර යන විට තමා උපන් බිමත්, උපන් සමාජ පන්තියත් අමතක වී යයි.

බුද්ධි ගලනය වැනි මාතෘකා ගැන ගීයක් තබා සංවාදයක් පවා ඇති නොවන සමයෙක දුර දක්නා නුවණින් මහැදුරු ආරියරත්නයන් විසින් ලියන ලද "සරුංගලේ" ගීතය, ඉහත මාතෘකාව පිළිබඳ සංවේදී කතිකාවතල අවශ්‍යතාවයට අප යොමුකරවයි.

6 comments:

මාතලන් said...

නමුත් ඉතින් මෙහේ ඉන්න බුද්ධිමතුනුත් රට ගියා වගේ තමයි. විශේෂයෙන් ඔය ගීයට සම්බන්ද දෙන්නත් ඊට ඇතුලත්..

TG said...

මේ සින්දුව අසූව හා අනූව දශක වල ගොඩක් ඇහුනා . සමහර විට අදට වඩා තරමක වෙනස් සමාජ , ආර්ථික හා දේශපාලන කතිකාවතක් තිබුණ නිසා වෙන් න ඇති .නමුත් මට හිතෙන්නෙ මෙහෙම .අද වෙනකොට ලංකාවෙ ඉන්න වෘතිකයන් බොහෝදෙනෙක් සැලසුම් කරන්නේ මයිග්‍රේට් වෙන්න .ඉගෙනගනෙත් ඒ ගැන හිතලා සමහර රටවල වීසා එකක් ගන්න උවමනා විදියට .අද ලංකාවේ මේ වෘතිකයන් බිහිවෙන ඉහල හා පහල මැදපන්තියේ සමාජ ඉණිමගේ ඉහල යන්න වැදගත් කාරනයක් මේක. මට හිතෙන්නෙ මෙහෙම අපිට පුලුවන් තරමකින් අපේ රටට යමක් කරලා තමන්ගේ ජීවිතේ හොයාගෙන ගියාට කමක් නෑ. නිදහස් අධ්‍යාපනේ ලැබුණත් ඉන් එහාට ජීවත් වෙන්න තව ගොඩක් කාරනා සපුරන්න ඕනේ .ඒවගෙම බොහෝ වෘතිකයින්ට උවමනා ඉහල සුදුසුකම් නිදහස් අධ්‍යාපනයෙන්ම ලැබෙන්නේ නෑ. නමුත් මේ සිංදුව හරි සංවේදී එකක් .

``` Outsider``` said...

හරියටම හරි ගීතයට දුන්න විවරණය. ඕක අහද්දි ඔය අදහස් ටික තමයි හැමදාම හිතට එන්නෙ.
මේක සුනිල් ආරියරත්නයන්ගෙ සරුංගලේ චිත්‍රපටයෙ තිබුණු ගීතයක්‍ නෙවෙයිද?

ඉන්දික උපශාන්ත said...

මේක සරුංගලේ ෆිල්ම් එකේ සින්දුවක්ය කියල ගොඩක් අය වැරදියට හිතන් ඉන්නව, ඒත් ඒක එහෙම නෙවෙයි.

අනික මේකෙ සමස්ථ අර්ථය එක්ක ගත්තම ඔය අන්තිම පදේ වෙන "සරුංගලේ නුඹ වාගේ රට හැර යන අපේ ළමයි " කියන එක ගැළපෙන්නෙ නෑ.

කොහොම සදාකාලිකව වලංගු ගීතයක්. (අපිත් සරුංගල්නෙ )

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

මේක මගේ ජීවිතය වෙනස් කරපු ගීතයක්. ඒ නිසාම මං වටේ හිටපු බොහෝ දෙනෙක් අද මූනුපොතෙන් විතරක් හමුවෙත්දී මම තාමත් ( අදත් හෙටත්) "සරුංගලය වෙනුවෙන් දුක්විදි, ගුටිකාපු අපේ ලමයි" එක්ක ඉන්නවා.

@ මාතලන්,
හැමෝගෙන්ම හැමදාම එකම දේ බලාපොරොත්තු වෙන එක වැරදියි. මේ තියෙන සමාජ ආර්ථික රටාව ඇතුලේ අඩුම තරමින් තමන්ට පුළුවන් කාලෙ හරි සමාජය වෙනුවෙන් යමක් කරානම් අනිවාර්යයෙන් ඒක අගයකරන්න ඕන.

අසරණයා said...

මං ඒ පොස්ට් ඒක දැම්මේ මට දනුනුවිදියට.එත් ඇත්තම කතන්දරේ බුද්ධි ගලනය.

ස්තුතියි මං ගැනත් සඳහන් කිරීම ගැන..