Thursday, April 1, 2010

රජ මැදුරක


රජ මැදුරක ඉපදී සිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බා ගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

පුංචි පැටික්කන් මග දිග හඬවන
සිල්ලර රස කැවිලි
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම්
යානා පෙනී පෙනී
අහක බලා ගෙන මග දිග යන විට
නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

ඉඳහිට මොළවන ලිපත් දනී පුත
කැඳ රස සුණු සහලේ
දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන්
අකුරට දිව යන්නේ
ඇඳලා කල් ගිය රෙදි වැරලී
නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ


පද: ලුෂන් බුලත්සිංහල
තාල: එච්. එම්. ජයවර්ධන
නද: මාලිනී බුලත්සිංහල


දිළිඳු කම බොහෝ දෙනෙකුට බලපාන්නා වූ ප්‍රශ්නයකි. නමුත් සමහරුන් එයින් ඉතාම තදින් බැට කති. දිළිඳු කමේ පතුලේම ගිලී සිටින්නෝ මවු වරු සහ දරුවෝය. එවන් මවක හා දරුවකු පිළිබඳ වූ සංවේදී ගීතයක් ඉහත ශිල්පී ත්‍රිත්වය බිහි කර ඇත.

මේ දරුවා ඉතා කීකරු දරුවෙකි. කුඩා වුවද නැති බැරිකම් ගැන ඔහුට හොඳ අවබෝධයක් ඇත. මග දිගට ඇති රස කැවිලි, සෙල්ලම් බඩු වලට ආශාව ඇතත් ඒ දෙස වත් නොබලමින් ඔහු පාසල් යන්නේ එහෙයිනි. ඔහු අළුත් ඇඳුම් ඉල්වමින් තම මවට කරදර කරන්නේ නැත. වැරහැලි ඇඳගෙනම සිටී. ගෙදර ලිප මෙළවෙන්නේ ඉඳහිටය. එහි පිසින්නේත් සුණු සහල් කැඳය. නමුත් එය රස කරමින් මේ දරුවා පානය කරයි. ඉන් නොනැවති, ඔහු නොදුටු සැප සම්පත් නොපතා හීනෙන් පවා සිනාසෙයි. තම පුතු ඉපිද ඇත්තේ අතු පැලකය. නිකම්ම පොල් අතු පැලක නොව සුළඟට ගසා ගෙන යන පොල් අතු සහිත, හිරිකඩ ගසන,  අබලන් පොල් අතු පැලකය. ඔහු රජ මැදුරක ඉපිද සිටියා නම් ඔහු රජ වන්නට පවා හැකිවනුයේ ඔහු දිරිය දරුවකු නිසාය. එවන් දරුවකුට මීට වඩා සැප සම්පත් නොදීමට හැකි වීම ගැන මව සොවින් තැවේ. හීනෙන් සිනා නොවී මව හඬවන්නට කියන්නේ එබැවිනි.

වඩාත් සියුම්ව බැලූ කල්හි මේ ගීයේ ඇතැම් වචන වලින් එහි අරුත් කුළු ගැන්වෙන අන්දම මනාව දැකිය හැකිය. රස කැවිලි "සිල්ලර" ය. "පුංචි පැටික්කන්" මග දිගට ඒවා ඉල්ලමින් හඬයි. නමුත් ඉන් කුස පිරෙන්නේ නැත. මේ දරුවා සමාජයේ පුහු ආටෝපයන් කෙරෙන් ඉවත බලා යන්නෙකි. රජකමට ඔහු සුදුසු වන්නේ එබැවිනි. "ඉඳහිට මොළවන" ලිප දක්වන්නේ ඔවුන් කෑම වේලක් ලබන්නේ ඉඳහිට බවයි. වේලක් ලැබූවත් ඒ මිලෙන් අඩු කැඩුණු (සුණු) සහල් පමණකි. එයද බතක් පිස ගැන්මට තරම් නොවේ. එනිසා කැඳ සාදා ගැනීමට ඔවුන්ට සිදු වී ඇත. මේ පද කිහිපය මගින් මේ දරුවා මුහුණ පාන දරිද්‍ර බවේ තීව්‍රතාව මනා ලෙස දක්වා සිටී. එනමුත් එවන් වූ අහරක් පවා දිව බොජුනක් ලෙස මේ දරුවා සලකයි. ඔහු පාසල් යාමටද කිසි විටෙක මැලි නොවේ. මෙයින් මේ දරුවාගේ දිරිය මනාව පෙන්වා සිටී. කොටින්ම දරුවාගේ දිරිය මවද ජීවත් කරවන බවක් පෙන්වයි. 

මුළු ගීය පුරාම පියා ගැන වදනකදු සඳහන් නොවේ. අනෙක් කරුණුද සමග එකව ගත් කල්හි, මේ දරුවා අවජාතක දරුවකුදෝ යන සැකය සහෘදයා තුල ජනිත කරවයි. ලූෂන් බුලත්සිංහල යනු කවදත් විප්ලවීය පද ගීයට ගෙන ආ රචකයෙකි. එනමුත් ඔහු විසින් මෙවන් භාව පූර්ණ ගී ලියැවී ඇත්නම්, ඒ ස්වල්පයක් විය යුතුය. අකාලයේ අප අතරින් වියෝ වූ මාලිනී බුලත්සිංහල ශිල්පිණිය මේ ගීයේ අරුත කුළු ගැන්වෙන භාවයන්  සමගින් මේ ගීය ගයන්නීය. ඇගේ අකල් වියෝව අප සංගීත කෙතට එල්ල වූ මහ පහරක්ම වන්නේය.


10 comments:

නාමල් said...

මම නම් හොද සනීපෙට ඉන්නවා අපෙ තාත්තා රජ කෙනෙක්නෙ

තිස්ස දොඩන්ගොඩ said...

මං මගේ දරුවෝ දෙන්නම කුඩා කාලෙදී උරේ හොවා ගෙන මේ ගීය කියනවා... මාව ඒ අතීතයට ඔබ ‍රැගෙන ගියා..මාලිනී බුලත් සිංහල "මා හඬවාපන් මේ රෑ යාමේ ..."කියන කොටස ඉතා සංවේදීව කියනවා...
ඔබේ පූර්විකාවේ අපූරුම කොටස නම් "කොටින්ම දරුවාගේ දිරිය මවද ජීවත් කරවන බවක් පෙන්වයි...." හැබෑය... මා එය අත්දැකීමෙන්ම දනිමි....

මිගාර said...

@ තිස්ස
මම නම් තවම ඔය අත් දැකීම විඳලා නෑ! හැබැයි මම ඔබේ කීම විශ්වාස කරනවා.

@ නාමල්
ආතල් වර්ගයේ සංවාද සඳහා ගී රස විනිස තැනක් නොවේ. මෙය ඇත්තේ ගී රස විඳින්නන්ටය. කරුණාකර මුහුණ වසා ගෙන නිරුවත පෙන්වීම නතර කරන්න

බිඟූ said...

නියම විචාරයක්...

/බිඟුවා...!

දයියා said...

මගේ දරුවො දෙන්නා නිසා මගේ ඇස් දෙක තෙමුනා නොදැනීම. "තාත්තෙ සල්ලි නැත්නම් එපා ඩිංගක් ලඟට ගිහිල්ල බලන්නද" මේ සෙල්ලම් බඩු ගොඩක් මැද්දෙන් යද්දි ඇහෙන කතාවක්. කවදාවත් ඒවා ඉල්ලලා ඇඬුවෙ නෑ. අරන් දුන්නොත් ගන්නව විතරයි. මාලනී බුලත් සිංහල කියන්නෙ අපිට තිබුණු සම්පතක් අපේ පවට ඒ සම්පත නැති අනා.ඔබට ස්තුතියි අපිට සංවේදී ගීතයක් ලබා දුන්නට. ඔබත් අපිට සම්පතක් දෙපැත්තකින්.
සුභ දවසක්

Chanaka De Silva said...

ස්තුතියි. වචන කිහිපයකට කොච්චර සංවෙදී හැගීම් පිරිලද

Bandula - බන්දුල said...

මිගාර,
මගේ ‍පොඩි උන් තුන් දෙනාම හීනෙන් හිනා වෙවී මා හඬවනවා හැම රැයකම. ලොකු දුව පුංචිකාලෙ මොනව හරි ඕනෙ උනහම ඉස්සෙලම අහන්නේ තාත්ත ගාව සල්ලි තියෙනවාද කියල. ඇයි පුතේ මොනවද ඕනෙ කියල ඇහුවම අහනව වෙන මොනවත් ගන්න තියෙන සල්ලිද කියල. මට තාමත් හිතා ගන්න බෑ මේකි කොහෙන් මේව ඉගෙන ගත්තද කියල.

Anonymous said...

ස්තුතියි මේ ගීතය නැවත මතක් කලාට.

charitha said...

ලූෂන් බුලත්සිංහලගෙ සත්‍ය ජීවන අත්දැකීමක් තමයි මේ සින්දුවට පාදක කරගෙන තියෙන්නෙ...
ඉතාම රසවත් සින්සුවක්...

ඉන්දික. said...

මට මගේ පුතා වයස අවුරුදු 5 ඩි විතර යමක් ඕනෙ උනාම ඉල්ලපු විදිහ මතක් උනා..නෙතට කදුලක් එක් කළා.එදා අපි බොහොම අමාරුවෙන් ජිවත් උනේ..ඉස්සෙල්ලම අහන්නෙ මේ දවස් වල තාත්ත ලග සල්ලි නෑනෙ..තිබ්බනම් මට බෝලයක් ගන්න තිබ්බ.නැත්තන් වෙඅන මොකක් හරි දෙයක් ගැන කියනව.එදා පුදුමා කාර විදිහට මමයි නොනයි හිතෙන ඇඩුව.අද එයා ඉල්ලන ඕනෙම දෙයක් එයාටයි නංගිටයි දෙන්න මට පුළුවන්..අවුරුදු 13ක දරුවෙක් උනත් අදටත් ඉස්කෝලේ යන්නෙ බස් එකේ.ඒ ගිහිනුත් ඉතුරුවෙන සල්ලි අම්මට දෙනව..මාව බොහොම අතීතෙට ගෙනිච්ච ඔබ..ස්තුතියි..