Tuesday, March 23, 2010

ඔබ වෙනුවෙන් මා

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුනාවේ

දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මඳ පවන පවා
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුනාවේ

සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැගේ නෙත රැයද දිවා
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුනාවේ

 

සිහළ ගීයේ රන්වන් යුගය වූයේ 70 දශකය බව කලින් සඳහන් කර ඇත්තෙමි. අමරදේව, වික්ටර්, සුනිල්, නන්දා මාලිනි වැනි ශාස්ත්‍රීය ගායකයන් ශ්‍රාවක සවන් පත් සන්හාලන කලෙකදී , සරල ගී ගායකයකු ලෙස ඔහු ගුවන් විදුලිය හරහා දොරට වැඩියේය. ශ්‍රී ලංකාවට කැසට් පට සංස්කෘතිය මුලින්ම හඳුන්වා දුන්නේත් ඔහුය. 70 දශකය විසින් බිහි කරන ලද තවත අපූරු භාව ප්‍රකාශකයකු වූයේ මෙම මිනිසාය. ඒ කවරෙකුත් නොව මිල්ටන් මල්ලවාරච්චිය. විරහ ගීතයන් තුලින් දහස් ගණන් හදවත් ප්‍රකම්පිත කිරීමට ඔහු සමත් වූයේය. මේ ඔහුගේ එම අපූරු හැකියාව දක්වන එක් නිදසුනක් පමණක් වන්නේය. 

ඇය වෙනුවෙන් පෙර දාක ගයන ලද ගී නැවත කිසිදිනෙක ඇය සවනේ නොවැකෙනු ඇත. ඒ ගීයන් සුළඟේ මිලින වී යනු ඇත. සඳ කිරණ පවා, සැඩ හිරු කිරණ (ගත දවන) අයුරින් සිත දවයි.  මඳ පවනෙහි ද සිසිලක් නැත්තේමය. ඇගේ සුවඳ උදය හවා මතකයට නැගේ. ඒ සමග නෙත තෙත් වීමත් සිදු වේ. ඇයගේ (නෙළුමකට සමාන) තොල් පෙති අතරේ රැඳී ඇත්තේ වෙනෙකෙකුගේ නම බැවිනි. එනම් ඇය ඔහුට අහිමි වී ඇති බැවිනි. 

මිල්ටන් ජීවත් වූයේ අප නිවසට මීටර 750 පමණ දුරිනි. ඉඳ හිට ඔහුගේ නිවසට යාමට මටද අවස්තාව ලැබී ඇත. මිල්ටන් නම් මේ අපූරු මිනිසා සජීවීව ගයනු දැකීමට තරම් මම වාසනාවන්ත වීමි. මිල්ටන් ගේ මේ අපූරු විරහ ගී ගැයීමෙ හැකියාව ඔහු ජීවිත්යේ ප්‍රථම ප්‍රේමය පැරදීම නිසා හටගත් එකකැයි ඇතැම් විචාරකයෝ කියති. පන්ති පරතරය නිසා වෙන් කෙරෙනු ඔවුන් ගේ පෙමෙහි අමරණීය මතක සටහන් ලෙස මේ ගීත සැලකේ. ජෝතිපාල ගැයුවේ හින්දි අනුකාරක ගීය. නමුත් මිල්ටන් ගැයුවේ ස්වතන්ත්‍ර තනුය. ලංකාවේ සරල සුගම තනු බිහිවීමට මහත් මෙහෙයක් මිල්ටන් ගෙන් සිදු වූ බව ඔහු ගී දෙස බලන විට පෙනේ. මේ ගීය අසා බලන්න. විරහවෙන් මඩ්නා ලද ඔහු චිත්ත සන්තානයේ වේදනාවන් පද වැල් හරහා කෙතරම් අපූරුවට ඔහු අපට පවසන්නේද?

අසන්න

7 comments:

විශ්මි said...

විරහ වේදනාව හරි අපූරුවට පද වලට පෙරලිලා...... ඊටම ගැලපෙන ගායනය.... ස්තුතියි ඔබට......

තිස්ස දොඩන්ගොඩ said...

ගීයේ අ‍ටුවාව කදිමැයි...!

Raven said...

මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගීත අතුරෙන් මා වඩාත්ම ප්‍රිය කරන ගීතයක්. ස්තූතියි ඔබට.

යෝගී... said...

අපි හැමදෙනාගෙම හදවත් වලට අඩු වැඩි වශයෙන් ජීවිතේ දවසක හරි දැනුන විරහව ගීතයක් වෙලා අපි ළඟට ආයිත් එන්නේ මිල්ටන් මල්ලවාරච්චි කියන ගායකයගේ කටහඩින්..
ඔහු ප්‍රබුද්ධ ද නැත්දැයි කියන්නට මා දන්නේ නෑ. නමුත් එදා අද මෙන්ම හෙට උපදින පරපුරේත් ආදරෙන් අතරමං වුනු තරුණ ජීවිතවල හැමදාම මේ විරහ ගී හඩ දෝංකාර දෙයි..
මේ අඩවිය මට මගහැරුනේ කොහොමද මංදා.. දැං ඉතිං හැමදාම එන්නං..
-ජය

Unknown said...

මිල්ටන් මල්ලවාරච්චි නම් සොඳුරු සංගීතවේදියා ගැයූ මේ ගීය මගේ ප්‍රියතම ගී අතරින් එකක්. නමුත් එතුමන්ගේ පුත් රනිල් මල්ලවරච්චි එම ගීතයන්ට සාධාරණරක් ඉටුකරන්නේද යන්න සැක සහිත කරුණක්. කෙසේ වෙතත් පසු කළෙක එක්තරා සංගීත වැඩසටහනකදී අමල් පෙරේරා නම් සොඳුරු විප්ලවවාදියා මෙම ගීතයට සජීවී ලෙස සිය හඬ මුසු කළ අයුරු නිර්මාණශීලීයි.
http://www.youtube.com/watch?v=gZTo4EizxRE

බිඟූ said...

අමරණීය මිනිසෙක්

දුකා said...

මගේත් ඉතාම ප්‍රියතම ගායකයෙක්.

කාලයක් ඔහුගේ ගී උන්මාදයකින් පෙලුනා කීවොත් නිවරදී.

ඔබ තරම්ම නැතත් මා ද ජීවත්වූ ප්‍රදේශයේම ජීවත් වූවෙක්.

ඒත් කිසි දිනෙක සජීවිව දැක නැත.

නමුත් මගේ අම්මාගේ නිවස අසලම ඔහුගේ මුල් නිවස (කුඩා කල ජීවත් වූ නිවස ) තිබු හෙයින් ඔවුන් එකට සෙලල්ම් කල බවත්. . ඔහු ප්‍රජාමන්ඩලය අසල කුඩා කඩය ඉදිරිපිට සිට ටින් වලට කෝටු කෑලි වලින් තට්ටු කරමින් ගී ගැයූ සැටින් අම්මා නිතර පවසන විට ඔහුගේ සහජ හැකියාව ගැන ආඩම්බර වීමි.