Saturday, March 20, 2010

මීන නුවන් යුග

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුනේ

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන්වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා

සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ


අප රට ආර්ථිකව පොහොසත් රටක් නොවේ. දරිද්‍රතාවයෙන් මිරිකී ගිය කල්හි, අන් සරණ නැති කල්හි, දුරු රටවලට ඔව්හු යති. ඉන් සමහරුන් නෑඹුල් යෞවන විය නො ඉක්මවූවෝ වෙති. එසේ දුර රටකට යන තරුණියන් තම ගම රට සිහිවි නෙතු අග කඳුළ නගති. ඔවුන්ගේ පෙම්වත්තු හෝ සැමියෝ එලෙසම ඔවුන් මතක් කරන අතර ඇතැම්හු දුක තුනී කර ගැන්මට මධු විතක සරණ පතති. ඇතැම් විට ඔවුන් බාල වියේ සිට හඳුනන්නෝ වෙති. ඇතැම් විට දුරු කතර ගෙවා පැමිණ හමුවන්නෝ වෙති. නමුත් මේ වෙන්ව යාම තුල ඇගේ දෑස තුලම සැඟවී ඉන්නට පෙම්වතාට සිත්වේ. ඔවුන්ගේ ජීවිත වල අහසෙහි කළු වලා නැග එයි. ඔවුන්ගේ මුදු වදන් අද එකිනෙකාට අසෙනුයේ වයරයන් දිග එන බොඳ වූ හඬක් ලෙසිනි. 
විප්‍රයෝගයේ හැඟීම් කුළු ගන්වන ලෙස ඊට උචිතම හඬකින් වේරලියද්ද ශිල්පියා විසින් ගයනු ලබයි. "කාල වලා නැග එන්නා . ." හා "දැසේ වෙළී . ." යන පද ගායනයේදී ඔහු ඉහල ස්වර පරාස වලට ගමන් ගන්නේ ශෝකී හැඟීම් තිව්‍ර කරමිනි. භාව ප්‍රකාශනය උපරිම ලෙස දැක්විය හැකි මෑත පරපුරේ ගායකයෙක් වන වේරලියද්ද විරල හැකියාවන්ගෙන් පිරිපුන් ගායකයෙකි. ඔහුගේ ගීත සෑහෙන ගණනකට ඔහුම සංගීතය සපයා ඇති අතර එම ගී වල තාලයන්ගේ පරාසය විශ්මය ජනක වේ. වෘත්තීය හා අති විශිෂ්ට ගණයේ උඩරට නැටුම්කරුවකු වන වේරලියද්ද, තම කුඩා කල සිට ප්‍රගුණ කල ජන ගී තාලයන් එකක් වත් ඔහුගේ ගී වලට යොදා නොගන්නා අතර ඔහුගේ ගායන විලාශය පවා එම ලක්ෂණ නොදක්වයි. ඒ වෙනුවට ඔහු යොදා ගන්නේ බටහිර ආරයේ තාලයන්ය. නමුත් ඔහුගේ ගැමි, හා භාවපූර්ණ කටහඬ එම සංගීතය සමග ඔහු මනාව මුසු කරයි. මෙම ගීයද එම ලක්ෂණ මනාව ප්‍රකට කරයි. මෙහි සංගීත භාණ්ඩ මුළුමණින්ම බටහිර ඒවා වේ. නමුත් ඔහු කට හඬ හසුරුවන අයුර තුල අව්‍යාජ ගැමි කමක් ගැබ්වී ඇත.

මෙම ගීය ඔහුගේ අවසාන ගීත එකතුවට අයත් වූවකි. මැත වසර 2 - 3 තුල ඔහු මඳක් නිහඬව සිටිනු දක්නට ලැබිණි. මේ නිහැඬියාව තවත් අති විශිෂ්ට ගී එකතුවක් නිකුත් කිරීමේ පූර්ව සළකුණකැයි අප උදක්ම පතමු.

අහන්න

බා ගෙනම අහන්න

6 comments:

මධුර විජයකොන් said...

ඇත්තටම නියම විචාරයක් ලියලා තියෙන්නේ. දිගටම මෙවන් විචාරයන් ලියන්න. මගේ සුභ පැතුම්

විශ්මි said...

ආස කරන ගීතයක්.. ස්තුතියි......

indika U said...

නියමයි ගීය විදින්න ලේසියි

Unknown said...

හරිම ලස්සනයි

Deepana said...

මේ ගීතයේ අවසන් පද පේලියේ 'මානවිකා' යන්න 'මාලවිකා' ලෙස නිවැරදි විය යුතුයි.
මාලවිකා කියන නම එන්නේ කාලිදාසගේ මාලවිකාග්නිමිත්‍රම් කාව්‍යයෙන්. කතා නායිකාව මාලවිකා. මාලවිකා රූමත් ගෘහ සේවිකාවක්. ඒ නිසා මීන නුවන් යුග ගීතයේ තේමාවට ගැලපෙනවා.

මිගාර said...

ඔබ නිවැරදියි. බොහොම ස්තූතියි නිවරද කිරීමට.