Tuesday, January 12, 2010

සැන්දෑ කළුවර

සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණු නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි


කුරුළු කැදැල්ලක උණුසුම කැටිවුණු
අමා සුවය දෙන අතු පැල හෙවණේ
අසරණ වූ දා මට ඔබ පමණයි
මඳකට හෝ සැනසුම ගෙන දෙන්නේ


පිබිදෙන ලොව හා තරඟ කරන්නට
හෙට අළුයම යළි පිටවිය යුතු වේ
ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම
ඔබේ හදට වැඩියෙම තව ළංවේ



පද වැල - සුනිල් සරත් පෙරේරා
ගායනය හා සංගීතය - විශාරද සනත් නන්දසිරි

 

මෙයට වසර තිහ හතළිහකට පමණ පෙර මෙරට සාමාන්‍ය පවුලක දැකිය හැකි සංසිද්ධියක් විය. ස්වාමි පුරුෂයා උදෑසන රක්ෂාවට පිටත්ව යාමත්, බිරිඳ ගෙදර දොර කටයුතු බලා ගැනිමත් සාමාන්‍යයෙන් සිදු විය. අද මෙන් නොව, ප්‍රවාහන දුෂ්කරතා තිබු එකල කොලඹ යන අයකු සවස හතරට වැඩ ඇරීමෙන් පසුව නිවසට පැමිණෙන විට බොහෝ වේලා ගත විය. මෙලෙස වෙහෙස වී පැමිණෙන පුරුෂයකුගේ සිත සනහන දසුන වන්නේ තම බිරිඳයි. මේ දෛනික ජීවන චක්‍රය මනරම් පද වැලකට නැගීමෙන් මෙම ගීය බිහි වී ඇත.


සැන්දෑ කළුවර ගැලුවත් කවියාගේ නිවස ආලොකවත් වී ඇත. ඒ තම බිරිඳගේ සෙනෙහසේ ප්‍රභාවෙනි. එසේම පරිසරය ආලෝකවත් වී ඇත්තේ ඇගේ සිනාවෙන මුහුණ නම් සඳ මඬලෙනි. ජීවිතයේ දුක හා වෙහෙස නිමවී යන්නේ ඒ දකින විටය. අතු පැලක් වුවත් එහි කුරුළු කැදැල්ලක උණුහුම ඇත. ජීවිතයේ පීඩාවන්ගෙන් අසරණ වූ දින එක්ව හඬන්නට, සැනසුම සුඟක් ගෙන දෙන්නට සිටින්නේත් ඈ මය. මේ සුවය තාවකාලික බව කවියා දනී. එය පවතින්නේ පසුදා උදැසන තෙක් පමණි. ලෝකය හා එක්ව ජීවන තරඟය දිව යන්නට උදෑසනම ඔහු නිවසින් පිටවිය යුතුය. කවියා තම බිරිඳගෙන් ඈත්ව සිටින මොහොතේදි ඇගේ අගය වැඩිමනත් ඔහුට දැනේ. ඇගේ හදට තවත් ළං වී ආදරය කරන්නේ එබැවිනි.



වත්මන් සමාජය තුල තම සැමියා සේවයට ගොස් ආපසු එන තුරු බලා සිටිනා බිරින්ඳෑ වරු ගණන එන්න එන්නටම අඩු වේ. විෂේශයෙන්ම නගර බද ඉහළ මධ්‍යම පංතික දරුවන් හැදී වැඩෙන්නේ දෙමාපියන් දෙදෙනාම රැකියා කරන පරිසරයකය. උස් මහත් වී වැඩෙන ඔවුන් විවා පත්වූ කලද මෙබඳු සම්බන්ධතාවයක් ගැන අත්දැකීමක් ඔවුනට නැත. එබැවින් එවැනි අත් දැකීමක සුන්දරත්වය විඳ ගැනීම ඔවුනට අපහසු විය හැකිය. ඇත්තෙනම ඉතාම කාර්ය බහුල රැකියාවක යෙදී සිටින මම මේ අත් දැකීමේ සුන්දරත්වය විඳ ගැනීමට නොහැකි වූවෙක්මි. මා බිරිඳ ද ඉතා කාර්ය බහුල නිර්වින්දන වෛද්‍යවරියකි. ඉතා කලාතුරකින් ලැබෙන විවේකයකදී අප අප ගැනම කතා කරමින් සිටියදි අහම්බයෙන් මේ ගීතය අසන්නට ලැබිණ. අපෙන් ඈත් කරන ලද ඒ සුන්දර අත්දැකීම ගන මඳ හෝ වැටහීමක් මා සිතට ඇතුලු වූයේ එවිටය. මා බිරිඳ ද කියා සිටියේ බටහිර අනුකාරක මේ ජීවන තරඟය මඳකට හෝ නවතින විටෙක, මා රැකියාවට ගොස් එනතුරු ඈ හට බලා සිටින්නට ඇත්නම් කොපමණ සුන්දරද යන්නයි. එබැවින් මේ ගීතය මගේ පුද්ගලික අත්දැකීමක් ලෙස මා හට අහිමි සුන්දරත්වය විඳ ගැන්මට මා උත්සුක කළ ගීයක් විය.


මේ ගීතයේ හඬ හා නද විශාරද සනත් නන්දසිරි මහතාගෙනි. ඔහුගේ ගඹුරු හඬ පෞරුෂය ගීතය පුරාම මනාවට දිස් වේ. පද රචනය සුනිල් සරත් පෙරේරා මහතා ගේය. හර බර වචන යොදා කරන ගීත රචනා හා සරල සුගම වචන යොදා කරන නිර්මාණ යන විශාල පරාසයක ගීත රචනා කල ඔහුගේ රචනා කෞෂල්‍යය මේ පද වැල පුරම හොඳින් ප්‍රදර්ශනය වේ.

බාගෙන අහන්න

4 comments:

Anonymous said...

සැඳෑ කළුවර කිව්වාම බැලුවේ නන්දා මාලනී ද කියලා. ගීතයට ස්තූතියි.

රවා said...

ලස්සන දෙයක් නමුත් අහන්නත ආසයි .. නැද්ද තැනක්

දුකා said...

හොඳ පදවැලක් තියෙන ලස්සන ගීතයක් . . ස්තූතියි මේ ගැන ලිව්වට . ..

TG said...

සමහර ගීත එක්ක අතීතෙට යන්න පුලුවන් ගතියක් තියෙනවාඅ .අවුරුදු බර ගාණක් ඈතට

මොන හේතුවක් නිසාද මන්දා මේ සින්දුවත් එහෙම සින්දුවක් මට . මේ සින්දුව ඇහෙනකොට හැම තිස්සෙම මම පොඩිකාලෙ හිටිය අපේ ආච්චිලගේ ගම සිහිවෙනවා .ඒක බොහොම හැල හොලමනක් නැති ගමක් .ඒ වගේම වෙලඳ සේවයේ හවසට ප්‍රචාරය වෙන ගීතත් මතක්වෙනවා

ඒ දවස්වල උදේ ,හවස, මද්දහන, රෑට සුදුසු විදියට ගුවන් විදුලියෙ සින්දු ගියේ . මට ඒ කාලෙ මතක් වුණා