Thursday, November 12, 2009

හේමන්තයේ දී

වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී
වසන්තේ ළපල්ලෙන් වැසී උන් කුසුම් දැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේදී

විලාපෙන් විඩා වී රැඳී මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ
වළාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබූයේ හේමන්ත කාලේ

සුසුම් ලා දිවා රෑ ගෙවී හුදෙකලාවේ
එපා වි සියල්ලන් පළා ආ වෙලාවේ
තුෂාරෙන් නුරා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදූයේ හේමන්ත කාලේ

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගායනය - නන්දා මාලිනී

ආදරය ඇති වනුයේ යොවුන් වියේදීය. එය දිවියේ නව දලු මල් පුබුදන, සිහින් සරින් කුරුළු ගීත ඇසෙන, හිරිපොද වැස්සෙන් තෙමෙන ආදරණීය වසන්තයක් ලෙස ඇතැම්හු හඳුන්වති. මේ නවතාවය තුලට අලුත්ම අත්දැකීමක් ලෙසට ආදරය එකතු වෙයි.

නමුත් සියළු දෙනාටම දිවියේ වසන්තයේදී ආදරය හමු වන්නේ නැත. පාසල අවසන් කර, උසස් ඉගෙනුම ලබා ගත් පසු ආදරය හඳුනා ගන්නා අයද වෙති. මේ වනාහි දිවියේ ශක්තිමත් පදනමක් සහිතව සිටින කාලයකි. ගිම්හානයේ මුද්‍රාව තැවරුණු ආදරය ඔවුන් හඳුනා ගන්නේය.

නමුත් දිවියේ මැදි වයසේදී ආදරය හඳුනන අතළොස්සක්ද වෙති. වසත් කළ නිදා සිටි යෞවනයේ කොවුලන් ගී ගයන්නේ හා මුකුලිතව ගිය මල් කැකුළු අවදි වන්නේත් දිවියේ හේමන්තයේදිය. මැදි වයසේ කාන්තාවක ආදරය හඳුනා ගැනීමෙ ප්‍රහර්ෂය සිය ආදර වන්තයාට ප්‍රකාශ කරන අයුරු මේ ගීයෙන් කියැවේ.

හඬා වැටීමෙන් (ප්‍රතික්ෂේප වීම නිසා විය හැකිය) විඩා වී, අයාලේ යන වළාවක් මෙන් ද, පින්න සහිත රැයෙක නොපෙනී ගිය සඳක් මෙන් ද, ජිවිතයේ අතරමංව සිටි ඇයට මං සොයන නෙත ලබා දෙනුයේ ඇගේ පෙම්වතාය. එසේම ගැරහුම් මැද ජීවිතයෙන් පළා ගිය ඇයට නැවත මඟ සොයා ගැන්ම නෙත් සදන්නේ ද ඔහුමය.

1983 පමණ කාලයේ මතභේදාත්මක ගීත සමුච්චයක් රැගත් "හේමන්තයේ" ගීත ඇල්බමයට මෙමෙ ගීය ඇතුලත් විය. මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ගීත රචනා කෞශල්‍යය මොනවට විදහා පාන ජීවමාන සාධකයකි මේ ගීය. එච්. එම්. ජයවර්ධනයන් අති විශාල වාදක කණ්ඩායමක් යොදවා මේ ගීත සමුච්චයට සංගීතය සැපයීය. ගීය අසන විට තාල තරංග, ගිටර, සිතාර ආදී තත් භාණ්ඩ එක වර්ගයකින් එකකට වඩා වැයෙනු ඇසිය හැකිය. මේ ගීතය අප සංගීත ඉතිහාසයේ වැදගත් තැනක් සනිටුහන් කරන්නේ ආදරයේ අමුතුම මානයන් සොයා ගිය අපූරු අත්දැකීමක් හෙයිනි

අසන්න
.

4 comments:

Ramachandra said...

you are doin a good job through this blog
keep it up

Thameera said...

මම නන්දා මාලිනීගේ කැමතිම ගීතය! කොච්චර ලස්සන තේරුමක් කොච්චර අගේ ඇති විදියට කියල තියෙනවද?
ඔව්, රාමචන්ද්‍ර කියපු විදියට මේ බ්ලොග් එකෙන් තරුණ පරපුරට වෙන්නෙ ලොකු සේවයක්! දිගටම ලියන්න, සුබ පැතුම්!

Eranga Perera (Muthu Paba) said...

Man aasama sinduwak..

කිනිර said...

මේ ගීතයේ සංගීත නිර්මාණය කලේ ස්ටැන්ලි පීරිස් මහත්මා.