Sunday, December 18, 2011

සරුංගලේ

සරුංගලේ වරල් සැලේ
නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ

සරුංගලේ බට පතුරෙන් නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ ලාටු උලා රැලි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලව හැඩ කෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි

සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයි
සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගේ රට හැර යන අපේ ළමයි


ගී පද: මහැදුරු සුනිල් ආරියරත්න
ගී නද: විශාරද නන්දා මාලිනී


මේ ගීය 80 දශකයේ බිහිවූ සුභාවිත වූ ගීතයකි. සරුංගලයක ඉපදීම, පාලනය සහ එය උඩ හැරීමත්, ඒ හා සම්බන්ධ සමාජයීය තත්ත්වයනුත් මේ ගීතය තුලින් මනාව කියා පායි. එනමුත් මහැදුරු ආරියරත්නයන්, සරුංගලයෙන් එහා දෙයක් දක්නා බව නම් පැහැදිලිය. ඒ අනුව මේ ගී පද බහු අරුත් දන්වන ආකාරයේ එකක් වේ. මේ ගීතය ගැනම විවරණයක් සපයන අසරණයා කියා සිටිනුයේ රට හැර යන ළමයින් ගැන මූර්තිමත් කෙරෙන පද වැලක් හැටියට හඳුන්වා දිය හැකි බවයි. ඇත්තෙන්ම පවුල හැර යන ළමයෙකුට සරුංගලය සම කළ හැකි වුවත්, මහැදුරු ආරියරත්නයන් මෙයට එහා ගිය පරමාදර්ශී මාතෘකාවක් දකින බැව් මට සිත්වේ. එසේ වුවත් මේ ගීය පිළිබඳ රස විනිසක් කිරීමට මා පෙළඹවීම ගැන එම බ්ලොග්කරුට මම ස්තූතිවන්ත වෙමි.

බුද්ධි ගලනය දකුණු ආසියාවටම පොදු සාධකයකි. විවිධ හේතු නිසා තම රට අතහැර දියුණු යයි සම්මත රටවල් වල ආකර්ෂණීය වැටුප් සොයාගෙන විද්‍යාර්ථීහු තම මව් රටෙන් පිටවෙති. එලෙසේ පිටවන විද්‍යාර්තීන් යනු මෙරට සාමාන්‍ය ජනයාගේ බදු මුදලින් උගැනුම ලබා සමාජ තලයේ ඉහළට නැග ගන්නා අයයි. මහැදුරු ආරියරත්නයන් සරුංගලය තුලින් රට හැර යන විද්‍යාර්ථියෙක් පෙන්වා සිටින බව මගේ හැඟීමයි.

මේ විද්‍යාර්ථියා බිහි වන්නේ බිම් මට්ටමේය. එනම් බිම් මට්ටමේ සිටින දුප්පත් දෙමාපියන් තුලිනි. සරුංගලය බටපතුරෙන් කපා, ලාටු උලා, රැළි අලවා හැඩ කරන්නේ "අපේ" ළමයින්ය. "අපේ" යන පදය මෙහිදී යෙදෙන්නේ රටේ පීඩිත පන්තිය නිරූපණයටයි. ඔහුට උගන්වන්නේ, ඔහුගේ නැණැස පාදන්නේත් සාමාන්‍ය ජනයාගේ මුදලින් නඩත්තු වන ගුරුවරුන්ය. ඔහු බිම් මට්ටමෙන් ඉහළට උඩ අරින්නට නූල් දුන්නේත් "අපේ" ළමයින්මය. විද්‍යාර්ථියාට ඉගෙන ගැනීමට සුදුසු පරිසරය සකසා දීමට කල අරගල වලදී ගුටි කෑවේ, සිත් වේදනාවට පත් වූයේ සහ මිය ගියේත් "අපේ" ළමයින්මය. එනමුත් සරුංගලය මෙන්ම සමාජ පිරමීඩයේ ඉහළට නැගගෙන වරල් සලමින් නිසංසලව සිටින විද්‍යාර්ථියාට රට හැර යන විට තමා උපන් බිමත්, උපන් සමාජ පන්තියත් අමතක වී යයි.

බුද්ධි ගලනය වැනි මාතෘකා ගැන ගීයක් තබා සංවාදයක් පවා ඇති නොවන සමයෙක දුර දක්නා නුවණින් මහැදුරු ආරියරත්නයන් විසින් ලියන ලද "සරුංගලේ" ගීතය, ඉහත මාතෘකාව පිළිබඳ සංවේදී කතිකාවතල අවශ්‍යතාවයට අප යොමුකරවයි.

Friday, December 9, 2011

අතු අගැ දිලි වන මල්


අතු අගැ දිලි වන මල්
පිපෙන්නා විඳැ විඳැ
සඳ සිහිලැල්
මසිත් ඔබ හද සිහිලැල්
ලබාලා පරයයි ඒ හැම මල්

දෝතලු තුරු එල් වැල්
එලෙන්නා කොහි එගසින් අත් වැල්
මට ඇති ඔබ අත්වැල්
වෙලෙන්නෙම් මම ඔබැ හා හැම කල්

සිඹැ සිඹැ මී අඹ මල්
උරා රොන් ගුම් නද දෙති බිඟු දැල්
මගෙ පෙම් ගී රසු දැල්
එළන්නේ ඔබ වෙනුයෙන් කැරැ ලොල්


ගායනය හ සංගීතය: ආචාර්ය අමරදේව
පද බැඳුම: මුනිදාස කුමාරතුංග


කුමරතුඟු මුනිදස් සිහල කලා කෙතට පහළ වූ මහ පඬි රුවනකි. අදිරද වාදී අදහස් ඔළුවේ දමාගෙන සිටි බඩ ගැත්තන්ට සිනා වූ එතුමා සකු බසින් තොර වූ එළු බස සොයන්නට මහත් වෙහෙසක් ගත්තෝය. බස් කිහිපයක් වහරන්නට හැකියාවෙක් තිබූ කුමරතුඟුවෝ විප්ලවීය මාවතෙක යමින් සිය සාහිත නිමැවුම් ඉදිරිපත් කළෝය. එනමුදු කුමරතුඟුවන්ගේ ගී රචනා ගී ලෙස ඇසෙන්නේ කලාතුරකිනි. එපමණකුදු නොව, ඔහු විසින් කල් පෙම් ගීයෙක් වේද එය "අතු අග පිපි වන මලට" පමණක්ම සීමා වූයේද වෙයි. එනිසාම, අතු අග පිපි වන මලෙක් වූ මේ ගීය සිහල ගී කෙතෙහි සුවිසල් පිය සටහනෙක් වන්නේය.

කුමරතුඟුවන් මේ ගීය පුරාම යොදන්නේ සුපිරිසිදු එළු බසමැ පමණෙකි. සිහිගිරි කුරුටු ගීයෙහි "නිල් කට් රොල් මල්ක" ආදී වූ පැදියෙහි හැඩ තල ගනිමින් හල් අකුරු විසල් ගණනෙක් සහිතව ගීය ලියැවී ඇත්තේය. අතු අග පිපුණ වන මල් සඳ එළියේ සිහිල ලබමින් පිබිදෙයි. එනමුත් ඔබ දුටු කල්හි මා සිත ඒ මල් පවා පරයමින් විකසිත වන්නෙමය. දෝතලු වැල්, එළ වැල්, තුරු ලිය මත වැවී ඇතත් ඒ කිසිවෙක් අත්වැලක් ලෙස ගත නොහීය. එනමුත් ඔබ මට අත්වැලක් නිසාම් ඔබ හා මා (පෙමින්) වෙලෙන්නෙමි. මී අඹ මල්හි මධු උරන මියැසි කැල ගුම් නද නංවන්නෝය. එනමුත් ඔබ කෙරෙහි ලොල්ව මා සිත නැගෙන පෙම් ගී වැල් වලින් එලෙසින්ම රසු දැල් (සිලි සිලි හඬ නැගෙන වාද්‍ය භාණ්ඩයක්) නැගෙන්නේය.

ගී ලියන්නට සකු බසෙහි රළු පද අනැවැසි බව මොනවට පෙන්වන ගීයකි අතු අග දිලි වන මල. කුමරතුඟුවන්ට පසුව ආ අරිසෙන් අහුබුදුවන් වැනි පද රචකයෝ හෙළ හවුල තව දුරටත් ගෙන ගිය අතර ඔවුනතින් ගී රැසක් ලියැවිණි.

ගීයෙහි සංගීතයද '70 දශකයේ ගීයක යයි සිතිය නොහැකි තරමටම නවීනය. යුගයට වඩා නවීන තනුව හා සංගීත සංයෝජනය නිසාම මේ ගීතය අපූර්ව ගීතයක්ද වෙයි.


බාගෙන අහන්න